අවාරේ සිරිපා | සිරිපාදෙ පෙරහර | Aware siripa 2024 | Off season Sripada pilgrim |

Описание к видео අවාරේ සිරිපා | සිරිපාදෙ පෙරහර | Aware siripa 2024 | Off season Sripada pilgrim |

#sanchaarakaya #srilanka #aware #sripadha #sanchare

දිනක් සිරිපාදයේ වූ හරි අපූරූ සිදුවීමක් අහම්බයෙන් මෙන් මගේ මිත්‍රයා, පසිඳුගේ නෙත ගැටී තිබුණා. ඔහු කළ වර්ණනාව අවසන් වූූයේ මා හටද එහි යාමේ ආසාව තීව්‍ර කරමිනි. කාළය ගෙවී ගියේය. මාගේ මතකය නිවැරදි නම් ඒ කතිකාව වී වසරකුත් ගත වී ඇත. මා පසිඳුවා කොහිදැයි සොයා බැලුවේ වෙනත් ඉසව්වක කරක් ගැසීමේ අටියෙනි. “මම සිරිපාදේ මචන්’’ ඒ ඔහුගේ පිළිතුරයි.

“සිරිපාදේ... සිරිපාදේ... අප්පටසිරි” පැය කටුවේ මන්දගාමී වට කීපයකට පසුව මාගේ මතකයට ආවේ පෙර වූ කතිකාවයි. දින වකවානුත් තිතටය. මීට වඩා සතුටක් වෙන කොයින්ද?

අප කරුණා කිරීමට ඉටාගත් මග කඩපිල් බොහෝ වූයෙන් අමුතුවෙන් ගමනට සූදානම් වීමක් අවශ්‍ය නොවුනි. සීතලත් වර්ෂාවත් හොඳහැටි තිබූ කාලයක් වූයෙන් ඊට සරිලන ඇඳුම් ආයිත්තම් වලින් පිරී තිබූ ගමන් මල්ලත් රැගෙන වෙසක් පොහෝ දින උදෑසනම මමත් දුලානුත් හිමේ බලා පිටත් විය.

දහවල් 12 කනිසමට පෙර පලාබද්දලට ළඟා වූ අප නාකියා ගෙන හිමින් සීරුවේ කරුණාව ආරම්භ කලේ අපට කාළය ඕනාවටත් වැඩිය තිබෙන නිසාවෙනි. අපගේ සැලැස්ම වූයේ පලාබද්දල මාර්ගයෙන් හමු වන අවසාන අම්බලම වන ආඬියාමලතැන්නේ රාත්‍රිය ගත කොට පසුදින උදෑසන මළුවට කරුණා කිරීමටයි.

ගමන ආරම්භයේ සිටම කඩින් කඩ වූ වැස්ස පවනැල්ලේදී අපව මහත් ආදරයෙන් වැළඳ ගෙන සීතල සුළඟකින් වෙලා ගත්තේය. මිහිදුම් සලුත් අද මලුවට කරුණා කරන්නාක් මෙන් අපත් සමග පැද්දි පැද්දි ඉහලට ඇදෙයි. අවාරය කියන්නේම වැස්ස. “මේ මලුව සෝදනවා” ඒ පැරැන්නන්ගේ විශ්වාසය. සිරීපාදය හා බෑඳුනා වූ විශ්වාසයන් සිදුවීම් ගැන මාත් ගමන් සගයාත් අතර වූ කතා බහ ගමනේ විඩාව මන්දගාමී කරලීමට මහත් රුකුලක් විය.

හිරු නික්ම ගොස් අන්ධකාරය බෝ වෙමින් පවති. සුළඟ අද හරිම කලබලය. වාරයේ අවසානය නිසාදෝ මහත් වූ වැඩ රාජකාරියක බර පැටවුනු අයෙකු මෙන් හනික එහෙ මෙහේ දුව යයි. අද වෙසක් පොහොය වූවත් පුන්සඳ දක්නට නැත. පළාතම මීදුම් සළුවකින් වසා ගෙන, ඒ අතරට තුරුල් වූ මහා ගස් සුළඟ් වාරු ගෙන මග දෙපස හොල්මන් කරයි.

සුළඟේ තල්ලු වෙමින්, වර්ෂාවේ නැහැවෙමින් අප දෙදෙනා රාත්‍රී නවාතැන් පලට සේන්දු විය. පෙර වාරයන් වලට වඩා මෙවර සුළං රැල් චන්ඩය. අතරමග වූ කඩපිල් උගුල්ලා තිබූයෙන් අප‌ට වැටහී ගියේද එයයි. අප ලැඟුම්ගත් ආඬියාමලතැන්න අම්බලමද වැසි දියෙන් බිඳී ආ පින්නෙන් තෙත් වී තිබුනෙන් නින්දට වැටීමට වියත් දොළහක් සොයා ගැනීම අසීරු කටයුත්තක් විය. විදුලි ආලෝකය ද මේවන විට ගිලිහී ගොස් තිබුනි. අප ළඟ වූ කුඩා දුරකථනයක් ගෙන, එහි වූ කුඩා අලෝකධාරාවට අප වටා ආලෝකමත් කිරීමේ වගකීම පවරා මමත් දුලානයත් නින්දට වැටිනි. හිමිදිරිය ලංවත්ම කොහිදෝ වූ අතු කැබල්ලක් විත් අම්බලමේ ටකරම් වහලේ ගැටී වු ශබ්දයෙන් ගැස්සී ඇහැරෙන්නට විය.

කවුරුන් හෝ සුදු රෙදි කඩක් ඒ මේ අත වනන්නාක් මෙන් මීදුම මහා හයියෙන් දිවයයි. උදෑසනම අසළ වූ කඩයට ගොඩවැදුනු අප උනු උනු තේ කෝප්පයකින් සීතල අකාමකා කර ගත්තේ මළුව තෙක් කරුණාව ඉක්මන් කිරීමටයි. සියල්ලෝ පෙරහැරට සූදානම් වෙමින් සිටී. පෙර දින මළුවට කරුණා කල එකා දෙන්නා බැගින් ගැහි ගැහී පහළට ඇදෙමින් සිටියේය. උණුසුම් රෙදි කඩවල් ඇඟලා සිටියත් ඔවුන් සියල්ලෝම තෙත බරිත වී හමාරය. ඒ සියල්ලන්ගේම අවවාදය වූයේ අහස්ගව්ව, හුළං කපොල්ල හරිම අවධානයෙන් පසු කරන ලෙසයි. සුමන සමන් දෙවි පිහිටයි, කරුණාවයි.

ආපදාවකින් තොරව අප මළුවට පය තැබුවේය. එහි සිට ගෙන සිටින්නට තියා වාඩිලා සිටීමටවත් නොහැකිය. ඒ වන විටත් දේවාභරණ කරඬුවල තැන්පත් කරමින් පැවතිනි. දෑසට පමණක් සීමාවූ ඒ අසිරිමත් සිදුවීම් පෙළ මෙලෙසයි කියා විස්තර කිරීමට තවමත් මම පොහොසත් නැත. මළුව වසා තිබූයෙන් වඩාත් අලංකාරව පෙරහැර දැකබලා ගැනීමේ නොනිම් ආසාවත් ඇතිව අප නැවතත් පෙර දින අප ළැඟුම් ගත් අම්බලම වෙත පිය එසවිය.

මීදුම් සළු මැදින්, හේවිසි හඬ මැදින්, සාදු නාද මැදින් වැස්සෙන් පවිත්‍ර වූ පියගැට පෙළ දිගේ ලක්දිව උසින්ම ආරම්භ වන සීතලම පෙරහර අසිරිමත් කරඬුව කරමත හොවා පලාබද්දල බලා කරුණාවය.
ජය වේවා,
මම සංචාරකයා...
.
.
.
--------- Contact Sanchaarakaya ---------
📧 - [email protected]
Facebook -   / sanchaarakay.  .
Instagram -   / sanchaarakaya  
.
.
.
♪♬♩♫ Music in this Video ♫♩♬♪
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═

Комментарии

Информация по комментариям в разработке