#emansala #EMANSALA
Psychoanalytic counseling theory |මනෝ විශ්ලේෂණවාදය
පට්ටියවෙල මහින්ද හිමි
Ven Pattiyawela Mahinda THero
.
දුරකතනය: 0715 364 365
විග්රහ කොට ජීවිතය විවරණය කිරීම අපරදිග දාර්ශනිකයින්ටත් ප්‍රථම සිදුකරන ලද්දේ පෙරදිග ආගමික ශාස්තෘන් විසින් සහ දාර්ශනිකයින් විසිනි. බුදුන් වහන්සේ සිය දහමේ වැඩි කොටසක්ම මනස විග්රහ කිරීමට වෙන් කල අතර සියල්ලටම වඩා මනස ප්‍රධාන වන බව ද ප්‍රකාශ කරන ලදී. එසේම බුදුන් වහන්සේ සමකාලීන ශට් ශාස්තෘන් මෙන් ම කොම්පියුසියස්, සොක්රටීස්, ප්ලේටෝ , හෙරික්ලීටස් වැන්නවුන් ද මනස පිලිබඳ විවිධ නිර්වචනයන් ඉදිරිපත් කරන ලදි. එහෙත් බටහිර විද්‍යාත්මක සිද්ධාන්ත අනුව යමින් මනස විශ්ලේෂණය කරමින් න්‍යායාත්මක චින්තනයක් ප්‍රකට කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතික සිග්මන්ඩ් ප්‍රොයිඩ් ය. එනිසා නූතන මනෝ විද්‍යාවේ පියා වශයෙන් මෙන් ම මනෝ විශ්ලේෂණවාදය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා ලෙස ඔහු ලොවම පිලිගනී. විශේෂයෙන් බටහිර රටවල මානසික ආබාධයන් සහිත පුද්ගයන්ට ප්‍රතිකාර කිරීමේදී නොයෙක් වධ බන්ධන වලට ලක්වීමට එකී පුද්ගලයන්ට සිදු වූ අතර එය වෙනස් කිරීමට මූලික මාවත සකස් කරන ලද්දේ මෙම සිග්මන්ඩ් ප්‍රොයිඩ් ය. මොහු විසින් ලොවට හඳුන්වා දෙන ලද මනෝ විශ්ලේෂණවාදය පසුකාලීනව ඔහුගේ ගුරුකුලයෙන් පවා විවේචනය කරන ලද්දේ වුව ද, තවමත් ප්‍රවීන නවීන විිද්යාර්තීන්ගේ බුද්ධි ගවේශනයට මෙන් ම ප්රතිකාරක ක්‍රම ශිල්පයක් ලෙස භාවිතයට ගනී. සිග්මන් ප්‍රොයිඩ්ගේ න්‍යායාත්මක හා ප්රතිකාරමය සිද්ධාන්ත වලට අමතරව කාල් යුංග් විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණවාදී මනෝ විද්‍යා න්‍යාය, ඇල්ප්‍රඩ් ඇඩ්ලර් විසින් ඉදිරිපත් කරන ලද සමාජීය මනෝ විශ්ලේෂණවාදය, සුවිශේෂි වැදගත්කමක් උසුලන අතර මෙලනී කෙලීන්, කැරන් හෝනි, හැරී සුලිවාන්, එරික් ප්‍රෝම්, ප්‍රොයිඩ්ගේ දියණිය වන ඇනා ප්‍රොයිඩ්, මෙන්ම නව මතවාද මනෝ විශ්ලේෂණවාදයට එක්කල එරික් එරික්සන් යන මනෝ විද්‍යාඥයින් මනෝ විශ්ලේෂණවාදය ප්‍රතිපෝෂණය කල විද්වතුන් අතර සුවිශේෂත්වයක් උසුලයි.
සිග්මන් ප්‍රොයිඩ් විසින් සිය න්‍යායාත්මක අදහස් ඉදිරිපත් කිරීමේදී පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකරන ලදී.
මනසේ ස්ථර - Levels of Mind
පෞරුෂ මෝස්තර - Structures of Personality
මනෝ ලිංගික අවධී - Psychosexual Development Stages
සංරක්ෂණ ප්‍රයෝග - Defense Mechanism
මනසේ ස්ථර : Levels of Mind
ප්‍රොයිඩ්ට අනුව මිනිස් සිත මුහුදේ පාවෙන අයිස් කන්දක ස්වරූපය ගනී. ජලයෙන් මතු පිට පෙනෙන අයිස් කන්දේ කුඩා කොටස සවිඤ්ඤානය හෙවත් උඩු සිත (conscious) ලෙස හඳුන්වන ප්‍රොයිඩ් ගැඹුරු ජලයෙහි සැගව ඇති කන්දේ ඉතා සුවිශාල කොටස අවිඤ්ඤාණය හෙවත් යටි සිත (Unconscious) ලෙස හඳුන්වයි. මීට අමතරව මතුපිට ජලයෙන් විනිවිද පෙනෙන අයිස් කන්දේ මධ්‍ය කොටස උප විඤ්ඤාණය හෙවත් මැද සිත ( Sub conscious) ලෙස හඳුන්වයි.
සවිඤ්ඤාණය යනු පසිඳුරන් හා බද්ධ වූ නොනිදා සිටින විට ක්‍රියාත්මක සිතයි. මෙම සිතෙහි මතක ගබඩාව එතරම් විශාල නොවේ. මෙහි මතකය නවතම තොරතුරු වලින් මෙන් ම අපගේ ප්‍රියතම හා අප්‍රියතම මතකයන්ගෙන් සමන්විත වෙයි. සක්‍රීය නින්දත් සමග සවිඤ්ඤාණය අක්‍රීය වෙයි. නින්දෙන් පිපිදුනු සැනින් නැවත සක්‍රීය වෙයි. යමක් ක්ෂණිකව මතකයට එන්නේ එම මතකය මෙම සවිඤ්ඤාණයෙහි සුරක්ෂිතව තිබුනොත් පමණි. එහෙත් සමහර මතකයන් අපට ක්ෂණිකව ලබාගත නොහැක. මද වේලාවක් කල්පනා කල පසු එම මතකය අපට ලබාගැනීමට හැකි බව ඔබට ප්රත්යක්ෂය. එසේ නම් එම මතකය සවිඤ්ඤාණය නොවන එහෙත් ඊට අසන්න තැනක තැම්පත්ව තිබිය යුතුය. එසේ මතකයට නගාගත හැකි අපගේ තොරතුරු තැම්පත්ව ඇත්තේ උප විඤ්ඤාණය හෙවත් මැද සිත (Sub conscious) තුළය. එම සිත ද සුවිශාල නැත. නිරන්තරයෙන් ම සවිඤ්ඤාණය හා එක්ව පවතී. ප්‍රොයිඩ්ට අනුව ඉතා වැදගත් වන්නේ අවිඤ්ඤාණයයි. ආත්ම ගානක මතකය මෙන්ම අප කරන කියන සිතන සියළු දෑ මෙම යටසිතෙහි තැම්පත්ව ඇත. මෙම සිතෙහි තැම්පත්ව ඇති මතකය අපට අවශ්‍ය කල්හී සිහියට නගාගත නොහැක. හැම විටම සක්‍රීයව පවතින මෙම සිත අප නින්දේ පසුවුව ද නොනිදා සිටී.
Psychoanalytic counseling theory, Counselling, Ven Pattiyawela Mahinda, slf,sri lanka foundation,FOD,මනෝ විශ්ලේෂණවාදය,මනෝ විද්‍යාව,උපදේශන න්‍යාය,මනෝ විශ්ලේෂණවාදී උපදේශන න්‍යාය,මිනිස් සිත,ජීවිතය,සිග්මන් ප්‍රොයිඩ්,පෞරුෂත්වය,මනෝ ලිංගික අවධි,උඩු සිත,යටි සිත,ඉඩ්,ඊගෝ,සුපර් ඊගො,සිහින,සිහින පලාපල,මෝහනය,නිදහස් සංඝටනය,Sigmund Freud, Psychosexual development, Id, ego, super ego,Dreams,Philosophy,දර්ශනය
Информация по комментариям в разработке