උරුමය සොයා අම්පාර "බලාන" කදු මුදුනේ ගල් ලෙනක ජීවිතය | Balana | අවසාන කොටස

Описание к видео උරුමය සොයා අම්පාර "බලාන" කදු මුදුනේ ගල් ලෙනක ජීවිතය | Balana | අවසාන කොටස

බලාන ගල් ලෙන් සොයා, ගමනාන්තයට.
අවසාන කොටස -

විශාල කුඹුක් ගස් වල මුල් වලට සමු දෙමින්, ඉද හිට වැටෙන කුඹුක් කොලයක් දෙකක් පහලට රැගෙන සුන්දරව ගලා බසිනා සිසිල් වූ දිය දහර අතර මාගේ වෙහෙසට පත් පා යුගල වලලු කර මට්ටමට ඔබාගෙන දහවල් ආහාරය ලබාගත් අතර ,එය රාජ භෝජනයක් හා සමාන වූයේ අප දැඩි හිරු රශ්මියක් සහිත පරිසරයක ඉතා විශාල දුරක් පාගමනින්ම පැමිණ ඉතා කුසගින්නටත්,වෙහෙසටත් පත්ව සිටි නිසාවෙනි.

කාලය ගත වෙත්ම වලාකුළු අතර හිරු සැගව යනු ඇතැයි යන බිය නිසාවෙන්,විටෙන් විට අහස දෙස අවධානයෙන් බැලීම කැලේ අලි සොයන්නාක් මෙන්ම අපට තිදෙනාටම සාමාන්‍ය දෙයක් වී තිබුණි.

විවේකය අවසන්.. නැවතත් ගමන් මලු කරපින්නාගත් අප දිය මංපෙත හරහා වම් ඉවුරට ගමන් කලේ ඉතා ඈතින් පෙනෙන බලාන කඳු ගැටය දෙස බලා සුසුමක් හෙලමිනුයි. ඉවුර පසු කොට , මද දුරක් ගමන් කල විට ඈතින් විශාල කෑදැත්තෙකු කලබලකාරි ලෙස නාද කල අතර ,ඒ සමගම ගස් අතු පතර දිව යන වදුරු රංචුවක් අප නෙත ගැටිනි. ඒ ලැබුනු ඉඩෙන් අප සිටි එලිමහන් බිම් කඩ හරහා සුන්දර තාරකා ඉබ්බෙකු සෙමින් ගමන් කල අතර , සොබාදහම මොන තරම් අපුර්ව සුන්දර නිර්මාණයක් දැයි වටහා ගැනීමට තවත් ටීකා ටිප්පනි කුමකට දැයි හැගුණි .

අප මේ වන විට නුවරගල,ඇත්බැද්ද සහ රැවුලාහෙල පසු කොට විශාල දුරක් වනාන්තරය මධ්‍යයට පැමිණ තිබේ. යා යුතු දුරත් ආ දුර මෙන්ම අති මහත් ය . අප සිතට යම් කිසි අස්වැසිල්ලක් ගෙන ආවේ අප ගමන් කල මග වැටී ඇති වන රොදට දකුණු පසින් මීටර දෙසීයක පමන දුරින් මැණික් ඔය ගලා බැසීමයි. මක් නිසාද යත් , කඳු මුදුනට සේන්දු වීමට ප්‍රථමයෙන් අපට අපගේ ජල බෝතල් සියල්ල ජලයෙන් පුරවා ගැනීමට හැකි වන නිසාවෙනි. කඳු සහ පල්ලම් අතර විටින් විට හමු වන මීටර සියය, දෙසීයේ තේක්ක කැලෑ තුල අලි ඇතුන් විසින් වාඩි බැදගෙන සිටි තැන් සහ ඔවුන් ආහාරයට ගත් තේක්ක අතු රිකිලි එලෙසම කඩා බිද දමා තිබීම නිසා එලිමහනේ ගමන් කිරීමට වඩා තේක්ක කැලය තුලින් ගමන් කිරීම අප තිදෙනාගේම හදවතට ගෙන ආවේ යම් කිසි කුහුලකි. අලි ඇතුන් මග හැර ගමන් කිරීමට රුසියන් වූ විජේ මාමා සහ ලොකු පීරිස් විටෙක මාර්ග දෙකක ගමන් කිරිම සිදු කරයි. බොහෝ දුරට ලොකු පීරිස්ගේ මාර්ගය කෙටිය , එමෙන්ම පහසුය. නමුත් මා විජේ මාමාගෙ පසුපසින් ගමන් කිරීම සිදු කරන අතර සත්‍යය වශයෙන්ම මා එසේ සිදු කරන්නේ විජේ මාමාගේ සිත රිදවීමට තිබෙන අකමැත්ත නිසාවෙනි. විජේ මාමාගේ පසුපසින් දහඩිය වගුරවමින් ගස් අතු කඩාගෙන පැමිණෙන මා දෙස බලා ,ලොකු පීරිස් විටෙක ඔච්චමට මෙන් සිනා සෙන්නේ ගමන් මහන්සිය මදක් අඩු කරවමිනි.

කෙමෙන් කෙමෙන් තවත් පැය දෙකක පමන කාලයක් පා ගමනින් පැමිණි පසු ,මුන ගැසෙන්නේ බලාන කඳු ශිඛරයට යාබද ඉලුක් තැන්නයි. එහි කෙලවර මීටර පන්සියයක පමන දුරින් මැණික් ඔය යැයි සැක කල හැකි බිම් කඩක් අප නෙත ගැටිනි. තද කොල පැහැ ශාක වලින් දෙපස වැසී ගිය නිම්නයක, බදු හරිත පැහැ තීරයක් කඳු වැටිය බෑවුම දෙසට ඇදී යයි. මෙතරම් ශුෂ්ක කලාපයක වුයද ,තුරු ලතාවන් මෙතරම් සාරයට සැදී වැඩෙන්නට නම් නිරන්තරයෙන් ජලයෙන් පෝෂණය විය යුතුය. අප රැගෙන පැමිණි ගමන් මලු තැන්නෙහි කෙලවරක තබා , ඒ දෙසට ගමන් කලේ ජල බෝතල් සහ ජල බෑගයන් දෙක ද කරෙහි දමාගෙනයි.

රැගෙන ආ බඩු බාහිරාදිය සහ ගමන් මලු තැබූ ලොකු පීරිස් සහ මා කදු මුදුනට දිව ගියේ වේලාව හය පසුවී ගොස් රාස්සියගේ අව්ව වැටී තිබූ නිසාවෙන් හිරු බැස යන සුන්දරත්වය කදු මුදුනට ගොස් නැරඹීමට තිබෙන දැඩි ආශාව සහ උවමනාව පෙරදැරිවයි. හිරු මා විටක මත් කරයි.. ගල් තලාව මත හිදගත් මා ඈතින් බැස යන හිරු දෙස බලා සිටි අතර ,නිල් වන් වලාකුළු රන් පැහැයට හරවා හිරු නොපෙනී ගියේ ජීවිතයේ සමහර තැන් මාගේ මතකයට ගෙන එමිනුයි. හිරු ඈතින් සැගව ගිය අතර ගල්ලෙන වෙත යන මාර්ගය මා දැන් අදුරේම සොයා ගත යුතුය.

"කොහෙද බං ඉන්නෙ" ලොකු පීරිස් ගේ කට හඩින් නැවතත් සිහි එලබගත් මා. "යමු යමු" යැයි පවසා අදුරේම ලොකු පීරිස් සමග ගල් ලෙන සොයා පහලට ඇදුනෙමු. කුඩා දර කෝටු කිහිපයක් එකතු කොට කුඩා ගිනි මැලයක් විජේ මාමා සකස් කොට තිබූ අතර එම කුඩා එලියෙන් ඒකාලෝක වූ ගල්ගෙය ඝන අදුරින් වෙලා ගත් පරිසරයෙහි දිලිසෙන තාරකාවක් මෙන් දිස්වුනි .

ගිනි මැල නම් දිනේෂ් තමා.. හනුමා බෙහෙත් පැල ගෙනාවාක් මෙන් මා ,අසළ තිබූ දිරාගිය විශාල කොට කිහිපයක් රැගෙන ආවේ තරමක් විශාල සහ උදෑසන වන තුරු දැල්වී තිබෙන පරිදි ගිනි මැලයක් සකස් කර ගැනීමට අවැසි නිසාවෙනි. අලි ඇතුන් ලගා වීම වැලකීමටත්, ගල්ගෙයි යම් සතෙකු ජීවත් වූවා නම් එම සතාට අප මෙහි සිටින වග දැනුම් දීමටත් ගිනි මැල සංඥාවකින් හැකිය

දැන් අප ආරක්ෂිතයි.. ගිනි මැලයේ ගිනි පුපුර් පිපිරෙන හඩත්, ඈතින් ඇසෙන රැහැයි හඩත් විටින් විට එන සිහිල් සුලගත් අපගේ විඩාව සංසිදුවාලයි. ගල් තලය මත උඩුබැලි අතට ඇලවී සිටින විට ඈත අහසේ තාරුකා විවිධ වූ රටා මවයි. බලාන කදු මුදුනේ පුංචි ගල් පරයකට නැග ගත කල රාත්‍රිය ,මනරම්ය… මනස්කාන්තය …

උදෑසන පැමිණ තිබේ.. ගලෙන් බැස ගත් මා ඈතින් පෙනෙන වාලිම්බ හෙල දෙස බලා සිටියේ හිරු පායා එන තුරුයි. අප උදෑසන තේ පානය කොට ,මහ කැලය පීරාගෙන ගොස් ගල් ගෙවල් දහතුනක් සොයා ගත්තෙමු. ඒවාට කිසිදු මිනිසෙකු දශක ගනනාවකින් පා තබා නැතයි අපට අනුමාන කල හැකිය. සමහරෙක සුන්දර චිත්‍ර කිහිපයකි.. තවත් සමහරෙක අකුරුය. මේවා ඇසට සිතට මහා සුන්දරත්වයක් මැවුයේය .මේ අපගේ ඉතිහාසයයි!.. මේ අපගේ උරුමයයි!..මේ අපගේ මුතුන්මිත්තන්ගේ ලේ කදුලු ,දහඩිය මතින් ඉදිවූ රාජධානියයි.. මින් මතු පරපුරටත් එය එලෙසම පවතීවා...! ආරක්ශා වේවා!..යන ප්‍රාර්ථනාව පෙරදැරිව ,එම ගල් ලෙන් සියල්ලෙහි ඇවිද ගිය අප නැවතත් මධ්‍යහ්නයේ ගමන් ආරම්භ කලේ බොරපොලටයි. අප එන මග නුවරගලින් සහ ඇත්බැද්දෙන් එන දිය පහරවල් එකතු වී සෑදෙන මැණික් ඔයේ ආරම්භය සොයා යාමටත් අමතක නොකලෙමු. රාත්‍රි හත පමන වන විට අපට බොරපොල ගම්මානයට සේන්දු වීමට හැකි විනි.

ගල් ගුහා දහ තුනයි.. වීඩියෝ එක දැම්මෙත් දහතුනයි දහතුන.. මේ අවසාන කොටස. අපි විදි සුන්දරත්වය සහ අප දුටු සුන්දරත්වය එලෙසින්ම ගෙන ඒමට මා හට විජේ මාමාගෙන් සහ ලොකු පීරිස්ගෙන් මෙන්ම අලි ඇතුන් ඇතුලු වන සතුන්ගෙන් ලැබුනේ නොමද සහයෝගයක් . ඔවුන් සියලුම දෙනාටමු

දිනේෂ්.

Комментарии

Информация по комментариям в разработке