මොහොතක ඇසුරකින් වුව... (පද්‍ය ගායනා)

Описание к видео මොහොතක ඇසුරකින් වුව... (පද්‍ය ගායනා)

දිවියම කැප කරමි,
නොබියව යමි පෙරට...

ඔහු :
මොහොතක ඇසුරකින් වුව දෙන රස මි අඹ
මා හා තරණයට සැරසෙන දිවි දියඹ
වීමට හැකි වුවත් නොවුණත් මා පියඹ
මා දිවි උයනෙ ඔබම යි, පිපි මල් කළඹ

ප්‍රේමය සුන්දරය, මධුර ය, නැත සැකයක්
නොසිතමි, ඇතැයි දෙව් සැප හා එහි වෙනසක්
එනමුත් විලස සුන්දර සුපිපුණු කුසුමක්
එය පිබිදෙන්න විය යුතු, නිසි පරිසරයක්

අතු ඉති පැතිර විකසිත වනු බැරි තැනක
වියලුණු, මැරුණු, සරු පස නැති මුඩු බිමෙක
සුසුවද මලක් පිබිදේවි ද, කිසි කලෙක
ඒවැනි රටක ප්‍රේමය බිහිසුණු පවෙක

ඇතිමුත් මව් බිමට දිවි දෙන නැමියාවක්
ඇති මුත් හිස, දෑත් හසුරන හැකියාවක්
ඒ හැකියාව මතු කොට දෙන ඇගයීමක්
නැත දේශයක්, පරිසරයක්, රැකියාවක්

උගත් තරුණ කැළ තැන තැන සිගා යතී
තවත් කෙනෙක් විස මධු විත වටා යතී
ඇතොත් යමක් එම්බසි වෙත පියාඹතී
ලදොත් ඉඩක් උන් රට හැර පලා යතී

ලද මුත් ධනය, වාසය සුවිසල් ගෙයක
එහි නැත සුවය, මව් බිම ඇති අතු පැලක
මේ ලක් දෙරණ, මා දිනු ගම, ගහ වැලක
සුපහස නැතිව මට ජීවත් විය නොහැක

එබැවින් පිලිමල්ව අදමිටු වැඩ වලට
මව් බිම සුරකිනුව වගුරමි රුහිරු කැට
නොබියව, කදුළු වායුව, ගිනි අවිවලට
දිවියම කැප කරමි, නොබියව යමි පෙරට

රජයෙන් නිබද කලු දුම, ගණ අදුර ගෙනේ
ඒ කලු දුමින් පුරවැසි නෙත් දුබල වුණේ
සුවිසල් පහන් කණු ඒ මේ අතට වැනේ
එනමුත් නිසැක තරු එළියක් ඈත පෙනේ

තුරුලිය දිය කදුරු වැනසූ පොළොවක් ය
මගෙ මව් දෙරණ දැන් වියලුණු කතරක් ය
එය රකුසන්ට පහසුම රස ගොදුරක් ය
එනමුදු ඈත නිල් හීතණ පදුරක් ය

කුළුගෙඩි පහර දී කළු ගල පිපිරෙන්න
ඉඩ කඩ හදමු දිය උල්පත මතු වෙන්න
පලවා හරිමු රකුසන් යලි නොම එන්න
බට දඩු කුමට? පැන් බීමට සැනහෙන්න

ඇය
මව් බිම පින් බිමක් කරගනු පිණිස මෙසේ
ඔබ හද නගන හඬ මාහට නිබඳ ඇසේ
ඒ යන ගමන වෙත දිරි බල නොදෙමි කෙසේ
ඔබ හා මම ද එමි ඔබෙ ප්‍රිය බිරිද ලෙසේ

ඔහු
නැත නැත සොඳුර, එය කළ හැකි දෙයක් නොවේ
අඹු සැමි දෙපල වෙත දරුවෝ ගෙනෙති සුවේ
බාධා කරයි එය පොදු අරමුණට ලොවේ
ඒ පිළිබදව සොඳුරිය, සිහි කළ යුතු වේ

සිදුහත් කුමරු සිය පුතු අතහැර දැමුවා
සඟුනට එගැන සිකපද පනවනු ලැබුවා
ජේසු ද විවාහය දිවියෙන් හැර දැමුවා
මේ පිළිබඳව අප විමසිය යුතු වෙනවා

සම්, මස්, නහර, ඇට සිඳ කා වැද සිටින
දරු පෙම දුකකි, පීඩාවකි, වෙහෙස දෙන
මව්පිය හදෙහි දරුවන් අරමුණු කරන
සෙනෙහස බැදීමකි, කිසිදා නිම නොවන

ඇය .
කුමට ද? එ ගැන එතරම් දුර සැලකීම
නූපන් පුතුන් පිළිබඳ ඇයි? වෙහෙසීම
මේ ලොව සියලු දරුවන් මේ 'අපගේ ම
දරුවන්' විලස සලකමු අපි හැමදාම

පදරචනය' ගෝනදෙණියේ විමලජෝති හිමි
සංගීතය හා පටිගත කිරීම: ජයන්ත ද සිල්වා
ගායනය: තිලංක ලක්ෂාන් සහ චාමී විජේවර්ධන
සංස්කරණය: හසිත සම්පත්

Комментарии

Информация по комментариям в разработке